Saturday, February 23, 2019

කොළොම්තොටින් කඳුකරයෙන් දකුණට එක දවසින් - Day 1


වේලාව අලුයම 4 යැයි පැවසීමට බට්ටා ඔරලෝසුව 4 වරක් නාදවන විට කටුබැද්දෙන් පිටත්වූ තරුවාගේ මෝටර් රථය ගාලුපාරේ කොළඹ දෙසට වේගයෙන් ධාවනය වූයේ සියල්ලෝම නිදි අවදි දෙකේ පසුවෙමිනි. පෑලියගොඩින් මීගමුව අධිවේගී මාර්ගයට දැමූ අපේ උදේ ප්ලෑන් එක වුනේ නයිනමඩමේ අපෙගේ හිතවත් සහෘද ශෙරාන් අයියාගෙන් වෑන් එක අරගෙන ඉන්පසු මිනුවන්ගොඩ හරහා යක්කලින් අපේ සෙට් එකේ එරා වත් රැගෙන අවිස්සාවේල්ලට යෑමයි.

අපේ සම්පූර්ණ ගමන්මග

අවිස්සාවේල්ල රත්නපුර බලංගොඩ දක්වාම සියල්ලෝම විටින් විට නිදාගනිමින් ගමන ටිකක් උදාසීන ගතියක් ගත්තේ අප නිතර දකින නගරබද වටපිටාවක් තිබූ බැවිනි. කෙසේ හෝ බලංගොඩට පැමිණි අප ගමනට අවශ්‍ය සියලු කලමනා ෆුඩ්සිටියෙන් ලබාගත් අතර අපගේ බලංගොඩ හිතවත් සහෝදරයා තිලාන් අයියාවත් මුණගැසී යන්නට අමතක කරේ නෑ.

හපුතලේ ඝණ මීදුමේ සිරවීම

උදේ ඉර නැගගෙන එන අති සුන්දර දර්ශනය බලන්න හපුතලේ විව් පොයින්ට් එකට පාන්දර යන්න ප්ලෑන් කරපු අපි දවල් 12ටත් බලංගොඩ. කාලසටහනකට නැතුව අපේ ආතල් එකට ඇවිදින නිසා ඒක අපිට ප්‍රශ්ණයක් වුනේ නෑ. කොහොමහරි ටිකෙන් ටික හපුතලේට ළංවෙනකොට පොඩි පොදක් එක්ක අහස කලු කරලා තිබ්බා. විව් පොයින්ට් එකට ආපු අපි යන්තන් කැමරාව අටවලා පොටෝ එකක් ගහන්න යනකොටම "සුදුපාට මීදුම් ගලලා අරපේන කන්දේ හැපීලා" විව් එක වැහිලා ගියා. ඊට පස්සෙ හිටිය ඇති දැන් මෙතනින් පලයව් කියලා තඩි වැස්සක් කඩාපාත් වුනේ ඝණ මීදුමකින් අපිට අපිවත් නොපෙනෙන තරමට වැසෙමිනි. කොහොමහරි අඩ ඡායාවන් අතරේ වෑන් එක ඇතුලට පැනගත් අප ඝණ මීදුමේ සෙමෙන් සෙමෙන් පාරේ සුදු ඉරේ උදව්වෙන් ගමන් කරේ වැල්ලවාය පාරට හැරවීමටය.

ලස්සනයි නේද යාලු

ආහ් ඔව් කියන්න අමතක වුනා මේ පාර අපේ තේමාව වුනේ සරම. හැමතිස්සෙම අලුත් දෙයක් කරන්නයි අපිට ඕන වුනේ. හරි ඉතින් මෙච්චර වෙලා කඳු නැග්ග අපි ඊළඟට පටන්ගත්තේ පල්ලම් බහින්න. කිහිපවිටකදිම අපේ සමූල ඡායාරූපය ගන්න උත්සහ කරාට ඒකට වැස්සෙන් බාධා එල්ලවුනා. කොහොම හරි එක තැනකදි අපි ඒ පොටෝ එක මෙන්න මෙහෙම ගත්තා.

ආවුස් කොහොමද නලුවො ටික

කැලේ හරහා යන්න වෙලාව මදිවීම

වැල්ලවාය පාර වැස්සෙන් අඩුවක් වුනේ නෑ. දියලුම ඇල්ල එහෙම වාහනේ ඉඳලාම බලාගෙන යන්න වුනේ තද වැස්ස නිසා. වැස්සෙ තෙමුන සීතලත් එක්ක ආපු බඩගින්නත් එක්ක අපිට ආපු ලොකුම ප්‍රශ්ණය වුනේ රෑ වුනාම කොහොමද යාල හරහා වැටිච්ච බුත්තල කතරගම පාර පහුකරන්නෙ කියන එක. මොකද අපේ පලවෙනි දවසෙ ගමනාන්තය වුනේ කිරින්ද. කොහොම නමුත් නොනවතින වැස්සත් එක්ක හවස 6 වන විට වැල්ලවාය හරහා බුත්තලට පැමිණි අප කඩේකින් හොඳවයින් කොත්තු පාරක් දාන ගමන් කතාවුනේ බුත්තලින් අපගේ පලමු දවසේ ගමන නැවැත්වීමටයි. මොකද රාත්‍රියේ යාල හරහා ගමන් කිරීමේදී වන සතුන්ගේ අවදානම සහ ලස්සන බලන්න බැරීවීම අපි ප්‍රධාන හේතු දෙක වුනා.

කිරින්ද ගමන බුත්තලින් නැවතුන හැටි

ඉතින් කලින් බුක් නොකරත් ලංකාවේ කොහේ ගියත් අඩු මිලට හොඳ කාමරයක් එවේලේ කතාකර ලබාගැනීමටත් නැතිම වුනොත් වාහනයේ හෝ නිදාගැනීමේ හැකියාවක් අපේ සෙට් එකට තිබ්බා. ඉතින් ඒ විදිහට හොඳ නවාතැනක් සෙට් කරගත් අප බියර් සහ වයිට් (බෙහෙතක්) සමඟින් බුත්තල නැවතුනේ අද දවසේ සිදුවීම් සහ හෙට දවසේ කුමක්වේදැයි සිත අතරමන් වෙමිනි.

යාල හරහා යනවිට මුහුණදුන් සිදුවීම් සහ දකුණු ලකේ ගත් සොමි ඊළඟ ලිපියෙන්...