Sunday, January 6, 2019

මුහුදට වැටෙන රේල්පාරක් හොයාගෙන ගිය ගමනක් - මන්නාරම Day 2


පහුගිය ලිපියෙන් මන්නාරම් ගමනේ පළමු දවස ගෙවුන හැටි අපි කිව්වා. ඔන්න ඉතින් දෙවනි දවසෙ උදේ පාන්දර 9ට විතර (ඔව් ඔව් මං දන්නවා ඔයාලා හිතනදේ) නැගිටලා පෝලිමට වැසිකිලි අධ්‍යන කටයුතු වල නිරත වෙලා කාලාබීලා එළියට බැස්සා. ඉතින් අපේ ප්ලෑන් එක වුනේ තලෛයි මන්නාරම් යන එක.


ඔන්න ඕක තමයි ගමන් මඟ. යන ඈයො මතක තියාගන්න කනබොන ජාති අරන් යන්න ගූගල් මැප්ස් ලෝඩ් කරගෙන යන්න. මොකද මේක ගෝල්පේස් නෙවෙයි.

මනුස්ස පුලුටක් නැති තල් වැලි කතර


ඉතින් මේ පාර කාපට් කරලා නම් නෑ තැන තැන වලවල් තියන පාලුපාරක්. මුල් හරියෙ ටිකක් දුර යනකම් විශාල වතුර වලවල් වගුරු ආහ් තැන තැන බූරුවොත් ඉන්නවා ( කකුල් හතරෙ ). වෙද පප්පාව ලෝකෙ ගැට්ටෙන් එළියට දාන්න යනවා වගේ ලංකාවෙ එක ගැට්ටක් හොයාගෙන යන මේ ගමනෙ තව අගට යන්න යන්න හම්බෙන්නෙ සුදු වැලි  සහ තල් ගස් වලින් පිරුණු බිම් විතරයි. ඒ අතරත් තැනින් තැන ඉතාම කුඩා කතෝලික දේවස්තාන දැකගන්න පුලුවන්.







ඉතින් ඔන්න ඔය රූපවල තියනවා වගේ පාලු බිම් පෙදෙස් පහුකරගෙන යනකොට Wrong Turn ෆිල්ම් එක මතක්වුන අවස්ථා නැතුවාම නොවෙයි.

Dead End - පාර ඉවරයි


ඔහොම යනකොට මෙන්න යකෝ එකපාරටම කාපට් පාරක් පටන්ගන්නවා, හොඳට ඉරි එහෙම ඇඳපු පාරක්.  අච්චර වෙලා හෙමිහෙමින් ඇවිල්ලා මේ ටික පාගලා යන්න හිතුනට පාගලා යන්න එපා Dead End කියලා බෝඩ් එකක් එහෙම ගහලා හම්ප් එකක් එහෙම දාලා තියනවා. කෝකටත් මොකෙක් හරි වේගෙන් ආවොත් මුහුදට වැටෙන එක නවත්තන්න. 




ඔව් මේ තමයි ඒ පාරෙ අවසානය. ඔය දකුණු පැත්තෙන් කොනේ පේන්නෙ තලෛයි මන්නාරම් ජැටිය. ඕකෙ කොනට යනකම් ඉස්සර කෝච්චි ගිහිල්ලා තියනවා නැව් වලින් එන බඩු භාණ්ඩ කෙලින්ම කෝච්චියට පටවගන්න. හැබැයි දැන් නම් ඒක පාවිච්චි වෙන්නෙ නෑ හොඳටම දිරලා. ගේට්ටුවක් දාලා වහලා තියෙන්නෙ බල්ලෙක්ටවත් යන්න දෙන්නෙ නෑ. ආහ් ඒ වගේම තමයි මෙතනින් වම් පැත්තන් පොටෝ ගහන්ඩ තහනම්. පෙනේරයක් වෙලා තමයි නවතින්ඩ වෙන්නෙ. වම් පැත්තෙ තියෙන්නෙ නේවි කෑම්ප් එකක්.




මේ ජැටියෙ දකුණු පැත්තෙ තියනවා අලුත් රේල්පාර ඒක බීච් එක වෙනකම් ඇවිල්ලා නැවත්තලා තියෙන්නෙ. ඊට මීටර් 100ක් විතර ආපස්සට වෙන්න තලෛයි මන්නාරම් ස්ටේශන් එකත් තියනවා හැබැයි මනුස්ස පුලුටක් වත් පේන්න නෑ හරියට පාලුවට ගිහින් අතඇරලා දාලා වගේ. එතනින් දකුණු පැත්තෙන් තියෙන්නෙ තලෛමන්නාරම් ලයිට් හවුස් එක. ඒකත් දොරවල් වහලා ලොක් කරලා තියෙන්නෙ උඩට නගින්න විදිහක් නෑ.






නිසොල්මන් අත්භූත මුහුද සහ ආදම්ගේ පාලම


ලංකාවෙ එක ගැට්ටකට ගිය අපේ ඊළඟ ගමන ආදම්ගේ පාලම බලන්න යන එක. ඉතින් අපි ආපු පාරෙම ආපහු ටික දුරක් ඇවිල්ලා දකුණට හැරන්න ඕන. මැප් එකේ පිහිටෙන් තමයි යන්න ඕන. ඉතින් ඒක වැලි පාරක් එකෙ ටික දුරක් එනකොට අපි නොහිතපු විදිහට පාර වහලා ගේට්ටුවක් දාල හොටෙල් එකකින්. එතන හිටපු සික්කා අපිව ආපහු හැරෙව්වා. යන එනමක් හිතාගන්න බැරුව ආපු අපි මඟින් තව පොඩි පාරක් හොයාගත්තා. හැබැයි ඒකෙ කාර් වගේ වාහන යන්න බෑ. ඉතින් වාහනේ මඟදාලා අපි පයින් යන්න පටන්ගත්තා.

අඩි කාලක් විතර සීතල වතුර ලේයරයක් තියන සිනිදු ලපටි තණකොල වලින් වැසුනු මේ අමුතු බිම අපිට හම්බුනේ වියලි කර්කශ තලෛමන්නාරමෙ කාර් එකෙන් බැහැලා පයින් යනකොට. මනුස්ස පුලුටක්වත් නැති මේ අත්භූත බිමට අපි Chill Land කියලා නම දැම්මා.




ඔය පේන ගස් පේලියෙන් එහාපැත්තට ගියාම තමයි අපිට හම්බෙන්නෙ මුහුද. මුහුදක් කිව්වට ඒක මහ අත්භූත මූසල පාටක් ගත්ත මුහුදක්. රැල්ල පොඩ්ඩක්වත් ගහන්නෙ නෑ. නිසොල්මන් වතුර සහ හුලං සද්දෙ විතරයි. කොච්චර අත්භූතද කියනවා නම් අපිට ඒ වතුර උණුද සීතලද කියලාවත් අල්ලලා බලන්න හිතුනෙ නෑ. ඔන්න එතනට වම් පැත්තෙ ඈතින් ආදම්ගේ පාලම පෙනුනට අපිට යන්න වේලාව ඉතුරුවෙලා තිබ්බෙ නෑ. කලුවර වැටීගෙන එනගමන් තිබුනෙ.



පේනවා නේද ලංකාවෙම තවත් පැත්තක මුහුදෙ ස්වරූපය.

නානවා නම් කීරි බීච් විතරයි


හැමදාම ශවර් වල විතරක් නාන අපි වතුරක බැහැලා නාන්න බලාගෙන නේ එන්නෙ. ඉතින් මන්නාරම් ඇවිල්ලා නානවා නම් තියෙන්නෙ කීරි බීච් විතරයි. ගිලෙයි ගහගෙන යයි කියලා බයවෙන්න දෙයක් නෑ දෙයියනේ කියලා මහා එපා කරපු රැල්ලවත් ගහන්නෙ නැති කම්මැලි බීච් එකක්. 



ඉතින් හවස නානකොට ඔයාලට දැකගන්න පුලුවන් මුහුදු යන්න ලෑස්තිවෙන ධීවරයො. හෙලෙයි හෝඩි හෙලෙයි හෝඩි කිය කිය බෝට්ටු මුහුදට තල්ලු කරනවා හරි අපූරුයි. මුහුදෙන් නාලා මතක ඇතුව හොඳ වතුර නානකොට එතන තියන කඩේ ඇන්ටිට රුපියල් 50 ගානෙ දීලා නාන්න. නැත්තම් ඉතින් ඒ ඇන්ටි දෙමලෙන් බනින ඒවා අපිට තේරෙන්නෙ නෑ අපි කියන ඒවා එයාට තේරෙන්නෙ නෑ.

ඉතින් අපේ දවස ඉවරයි කලුවරත් වැටුනා. අකුලගෙන යන්න අපි ලෑස්තිවුනා. හොඳට මතක තියාගන්න පාර කෙලින් පැහැදිලි වුනාට පාගලා යන්න නම් එපා පාර මැද බූරුවො හිටගෙන නිදි. ඉතින් පරිස්සමින් අපිත් කොළඹ ආවා.


ගමනට ඕන කෑම බීම සල්ලි හැමතිස්සෙම ළඟ තියාගන්න මොකද කෑම කඩ පෙට්‍රල් ෂෙඩ් ATM හරි අමාරුයි හොයාගන්න.

ඒ වගේම ගෙනියන කිසිදෙයක් එහෙදාලා පරිසරේ විනාස කරලා එන්න එපා. පරිස්සම් කරගමු අපේ රට. තව බලන්න තැන් ගොඩාක් තිබ්බට සතිඅන්තෙක ගිහින් බලන්න පුලුවන් ඔච්චර තමයි. ඕන නම් කලබලේට ඔක්කොම කවර් කරන්න පුලුවන් හැබැ‍යි ඉතින් කිසිගතියක් නෑ. ආතල් එකේ රවුම ගහනවා නම් ඔය ටික තමයි.


ඔය ඉන්නෙ ගමන ගිහිපු අපේ සෙට් එක. දකුණේ ඉඳලා කිව්වොත් රජියා, ඉස්සා, ටෙනියා, මේ ලියන මම කව්වා සහ තරුවා. තවත් Road Trip එකක් ගැන විස්තර අරන් අපි ළඟදීම එන්නම්. බායි ඈ.