වෙලාව අලුයම 5.30යි කොල්ලො 5 දෙනෙක් රැගත් සුසුකි ඇල්ටෝ රථය… ඔව් ඔව් කොල්ලො 5යි උන්ගෙ බඩුමලු කැමරා ආම්පන්න කෑමබීම කට කපලා පැක් කරගෙන නුගේගොඩින් පිටත්වෙලා කෙලින්ම පෑලියගොඩ හරහා මීගමුව හයිවේ දාපු අපි ප්ලෑන් කරේ මීගමුව හලාවත පහුකරලා පුත්තලමට ඇවිත් උදේට බඩපැලෙන්ඩ කන්න.
මේ තමයි අපේ ගමන් මඟ
කොහොම හරි උදේ 8.30 වෙනකොට වඩේ බැද බැද වල්පල් කිය කිය කූල් එකේ සින්දු ටිකකුත් අහගෙන පුත්තලමට ආපු අපිට හිතාගෙන හිටපු විදිහට කන්න කිසිම කඩයක් හම්බුනේ නෑ. ඒ නිසා ඔන්න යන එවුන් පුත්තලමට කලින් කාපල්ලා. ඉතින් අරන් ආපු බිස්කට් 2-3ක් බඩට දාගන්න ගමන් පුත්තලම පහුකරලා අපි කෙලින්ම ගියේ විල්පත්තු මායිමට. ඊළඟ අපිට තිබ්බෙ විල්පත්තුව හරහා යන්න.
පුදනකොටම කාපි යකා කිව්වලු. අපි යනකොට නේවි එකේ අයියලා ගේට්ටුව වහලා. ඇයි? ඇතුල්වෙන තැන බන්ට් එකට උඩින් අඩි 2ක් වතුර දානවා පහුගිය වැස්සට. ජීප් එකක් තිබ්බා නම් පංකාදු ගමන.
අපේ ගමන් මඟ වෙනස් වුන හැටි
ඉතින් ඔන්න කැබ් එකක් ජිප් එකක් වගේ ඕෆ් රෝඩ් යන්න පුලුවන් වාහනයක් නැත්තම් ටිකක් හොයලා බලලා යන්න නැත්තම් ආපහු හැරිලා පුත්තලමට ඇවිල්ලා අනුරාධපුර පැත්තෙන් තන්තිරිමලේ හරහා තමයි යන්න වෙන්නෙ. කොහොම වුනත් ඒ පාරෙ යනකොටත් විල්පත්තු මායිමේ අලි ගැන සැලකිල්ලෙන් යන්න.
ඔන්න එහෙම ඇවිල්ල මන්නාරමට ඇතුල්වෙනකොට තමයි හොඳම සොමිය තියෙන්නෙ. මන්නාරම් දූපතට මුහුද මැදින් හදපු පාර වෙනම රටකට යනවා වගේ ආතල් එකක්.
ඉතින් දෙපැත්තෙන්ම මුහුද තියන මේ අපූරු පාරෙන් මන්නාරමට ඇතුල් වෙනකොටම දෙයියනේ කියලා පොලිස් මාමිලා සෙට් එකක් ඉන්නවා ඔයාලව පිලිගන්න ටී56 කරේ තියන්. ඉතින් එතනින් එහාට ඔයාල ඉන්දියාවට ගියා වගේ තමයි. දෙමල ඉංග්රීසි බෝඩ් විතරයි කඩවල් වල තියෙන්නෙ. ගරාවැටිච්ච ගොඩනැගිලි හැමතැනම. පාරක් එහෙම අහනවා නම් හමුදාවේ හෝ පොලිසියෙ මහත්තයෙක්ගෙන් අහන්න. මොකද එහේ ගොඩක් අයට සිංහල වත් ඉංග්රීසි වත් බෑ. ඉතින් ගිහිපු ගමන් බලන්න තැන් දෙකක් තියනවා. එකක් තමයි ලංකාවෙ තඩිම ගස. අනිත් එක තමයි මුතු හොයාගෙන ලංකාවට ආපු ලන්දේසීන්ගෙ බලකොටුව.
Biobab Tree
මීටර් 19.51ක වට ප්රමාණයකින් යුතු මේ ගහේ නම තමයි බයෝබැබ්. මන්නාරම් දූපතට ඇතුල් වුන ගමන්ම දකුණට හැරිලා කිලෝමීටර් 1ක් විතර ගියාම මේ ගහ හොයාගන්න පුලුවන්.
ඒ පාරෙම ආපහු එනකොට මන්නාරම ටවුම කිට්ටුවෙන්ම හොයාගන්න පුලුවන් ලන්දේසි බලකොටුව. මේක සංරක්ෂණය කරලා නම් නෑ. ගරාවැටිලා තියෙන්නෙ. හවසට එහේ කොල්ලො කුරුට්ටො සෙට් වෙන තැනක් මෙතන. මේකෙ උඩට නැග්ගම හවසට ඉර බැහැගෙන යන විව් එක සුපිරි.
Dutch Fort Mannar
ඉතින් පලවෙනි දවසට ගමන ඔච්චරයි. කලුවර වැටෙනකොට කොළඹ වගේ නෙවෙයි ටවුන් එකම ඩෙඩ්. ඉතින් ඔන්න රෑට නවතින්න මරු තැනක් තියනවා හැබැයි මන්නාරම දූපතෙන් එළියෙ තියෙන්නෙ.
කමත තමයි මේකෙ නම ශ්රී ලංකා යුධ හමුදා 542 බලඇණියෙන් තමයි මේක කරගෙන යන්නෙ. යනවා නම් කලින් බුක් කරලා යන්නෙ. මොකද එහේ ගිහින් තැන් හොයන්න ලේසි වෙන්නෑ. ඒසී කරපු කාමර තියෙන්නෙ සර්විස් එකත් සුපිරියටම දෙනවා කෑමත් හම්මෝ කියලා වැඩක් නෑ ඉතාමත් මිත්රශීලි හමුදාවෙ සහෝදරයො තමයි මේකෙ ඉන්නෙ. ඔන්න නම්බර් ටික 0765794570 / 0766352496 / 0718929092
Kamatha Guest House
මෙතනට යන පාර මැප් එකේ හරියටම නෑ ඉතින් කෝල් කරලා පාර හරියට අහගෙන යන්නෙ. බය වෙන්න දෙයක් නෑ ළඟපාත බාර් එකකුත් බයිට් කරත්තෙකුත් හීනියට තියනවා.
හරි අදට එච්චරයි ඊළඟ දවසෙ තලෛයි මන්නාරම් ගිහින් මොකද වුනේ කියලා ඊළඟ ලිපියෙන් හම්බෙමු.







