Saturday, February 23, 2019

කොළොම්තොටින් කඳුකරයෙන් දකුණට එක දවසින් - Day 1


වේලාව අලුයම 4 යැයි පැවසීමට බට්ටා ඔරලෝසුව 4 වරක් නාදවන විට කටුබැද්දෙන් පිටත්වූ තරුවාගේ මෝටර් රථය ගාලුපාරේ කොළඹ දෙසට වේගයෙන් ධාවනය වූයේ සියල්ලෝම නිදි අවදි දෙකේ පසුවෙමිනි. පෑලියගොඩින් මීගමුව අධිවේගී මාර්ගයට දැමූ අපේ උදේ ප්ලෑන් එක වුනේ නයිනමඩමේ අපෙගේ හිතවත් සහෘද ශෙරාන් අයියාගෙන් වෑන් එක අරගෙන ඉන්පසු මිනුවන්ගොඩ හරහා යක්කලින් අපේ සෙට් එකේ එරා වත් රැගෙන අවිස්සාවේල්ලට යෑමයි.

අපේ සම්පූර්ණ ගමන්මග

අවිස්සාවේල්ල රත්නපුර බලංගොඩ දක්වාම සියල්ලෝම විටින් විට නිදාගනිමින් ගමන ටිකක් උදාසීන ගතියක් ගත්තේ අප නිතර දකින නගරබද වටපිටාවක් තිබූ බැවිනි. කෙසේ හෝ බලංගොඩට පැමිණි අප ගමනට අවශ්‍ය සියලු කලමනා ෆුඩ්සිටියෙන් ලබාගත් අතර අපගේ බලංගොඩ හිතවත් සහෝදරයා තිලාන් අයියාවත් මුණගැසී යන්නට අමතක කරේ නෑ.

හපුතලේ ඝණ මීදුමේ සිරවීම

උදේ ඉර නැගගෙන එන අති සුන්දර දර්ශනය බලන්න හපුතලේ විව් පොයින්ට් එකට පාන්දර යන්න ප්ලෑන් කරපු අපි දවල් 12ටත් බලංගොඩ. කාලසටහනකට නැතුව අපේ ආතල් එකට ඇවිදින නිසා ඒක අපිට ප්‍රශ්ණයක් වුනේ නෑ. කොහොමහරි ටිකෙන් ටික හපුතලේට ළංවෙනකොට පොඩි පොදක් එක්ක අහස කලු කරලා තිබ්බා. විව් පොයින්ට් එකට ආපු අපි යන්තන් කැමරාව අටවලා පොටෝ එකක් ගහන්න යනකොටම "සුදුපාට මීදුම් ගලලා අරපේන කන්දේ හැපීලා" විව් එක වැහිලා ගියා. ඊට පස්සෙ හිටිය ඇති දැන් මෙතනින් පලයව් කියලා තඩි වැස්සක් කඩාපාත් වුනේ ඝණ මීදුමකින් අපිට අපිවත් නොපෙනෙන තරමට වැසෙමිනි. කොහොමහරි අඩ ඡායාවන් අතරේ වෑන් එක ඇතුලට පැනගත් අප ඝණ මීදුමේ සෙමෙන් සෙමෙන් පාරේ සුදු ඉරේ උදව්වෙන් ගමන් කරේ වැල්ලවාය පාරට හැරවීමටය.

ලස්සනයි නේද යාලු

ආහ් ඔව් කියන්න අමතක වුනා මේ පාර අපේ තේමාව වුනේ සරම. හැමතිස්සෙම අලුත් දෙයක් කරන්නයි අපිට ඕන වුනේ. හරි ඉතින් මෙච්චර වෙලා කඳු නැග්ග අපි ඊළඟට පටන්ගත්තේ පල්ලම් බහින්න. කිහිපවිටකදිම අපේ සමූල ඡායාරූපය ගන්න උත්සහ කරාට ඒකට වැස්සෙන් බාධා එල්ලවුනා. කොහොම හරි එක තැනකදි අපි ඒ පොටෝ එක මෙන්න මෙහෙම ගත්තා.

ආවුස් කොහොමද නලුවො ටික

කැලේ හරහා යන්න වෙලාව මදිවීම

වැල්ලවාය පාර වැස්සෙන් අඩුවක් වුනේ නෑ. දියලුම ඇල්ල එහෙම වාහනේ ඉඳලාම බලාගෙන යන්න වුනේ තද වැස්ස නිසා. වැස්සෙ තෙමුන සීතලත් එක්ක ආපු බඩගින්නත් එක්ක අපිට ආපු ලොකුම ප්‍රශ්ණය වුනේ රෑ වුනාම කොහොමද යාල හරහා වැටිච්ච බුත්තල කතරගම පාර පහුකරන්නෙ කියන එක. මොකද අපේ පලවෙනි දවසෙ ගමනාන්තය වුනේ කිරින්ද. කොහොම නමුත් නොනවතින වැස්සත් එක්ක හවස 6 වන විට වැල්ලවාය හරහා බුත්තලට පැමිණි අප කඩේකින් හොඳවයින් කොත්තු පාරක් දාන ගමන් කතාවුනේ බුත්තලින් අපගේ පලමු දවසේ ගමන නැවැත්වීමටයි. මොකද රාත්‍රියේ යාල හරහා ගමන් කිරීමේදී වන සතුන්ගේ අවදානම සහ ලස්සන බලන්න බැරීවීම අපි ප්‍රධාන හේතු දෙක වුනා.

කිරින්ද ගමන බුත්තලින් නැවතුන හැටි

ඉතින් කලින් බුක් නොකරත් ලංකාවේ කොහේ ගියත් අඩු මිලට හොඳ කාමරයක් එවේලේ කතාකර ලබාගැනීමටත් නැතිම වුනොත් වාහනයේ හෝ නිදාගැනීමේ හැකියාවක් අපේ සෙට් එකට තිබ්බා. ඉතින් ඒ විදිහට හොඳ නවාතැනක් සෙට් කරගත් අප බියර් සහ වයිට් (බෙහෙතක්) සමඟින් බුත්තල නැවතුනේ අද දවසේ සිදුවීම් සහ හෙට දවසේ කුමක්වේදැයි සිත අතරමන් වෙමිනි.

යාල හරහා යනවිට මුහුණදුන් සිදුවීම් සහ දකුණු ලකේ ගත් සොමි ඊළඟ ලිපියෙන්...

Sunday, January 6, 2019

මුහුදට වැටෙන රේල්පාරක් හොයාගෙන ගිය ගමනක් - මන්නාරම Day 2


පහුගිය ලිපියෙන් මන්නාරම් ගමනේ පළමු දවස ගෙවුන හැටි අපි කිව්වා. ඔන්න ඉතින් දෙවනි දවසෙ උදේ පාන්දර 9ට විතර (ඔව් ඔව් මං දන්නවා ඔයාලා හිතනදේ) නැගිටලා පෝලිමට වැසිකිලි අධ්‍යන කටයුතු වල නිරත වෙලා කාලාබීලා එළියට බැස්සා. ඉතින් අපේ ප්ලෑන් එක වුනේ තලෛයි මන්නාරම් යන එක.


ඔන්න ඕක තමයි ගමන් මඟ. යන ඈයො මතක තියාගන්න කනබොන ජාති අරන් යන්න ගූගල් මැප්ස් ලෝඩ් කරගෙන යන්න. මොකද මේක ගෝල්පේස් නෙවෙයි.

මනුස්ස පුලුටක් නැති තල් වැලි කතර


ඉතින් මේ පාර කාපට් කරලා නම් නෑ තැන තැන වලවල් තියන පාලුපාරක්. මුල් හරියෙ ටිකක් දුර යනකම් විශාල වතුර වලවල් වගුරු ආහ් තැන තැන බූරුවොත් ඉන්නවා ( කකුල් හතරෙ ). වෙද පප්පාව ලෝකෙ ගැට්ටෙන් එළියට දාන්න යනවා වගේ ලංකාවෙ එක ගැට්ටක් හොයාගෙන යන මේ ගමනෙ තව අගට යන්න යන්න හම්බෙන්නෙ සුදු වැලි  සහ තල් ගස් වලින් පිරුණු බිම් විතරයි. ඒ අතරත් තැනින් තැන ඉතාම කුඩා කතෝලික දේවස්තාන දැකගන්න පුලුවන්.







ඉතින් ඔන්න ඔය රූපවල තියනවා වගේ පාලු බිම් පෙදෙස් පහුකරගෙන යනකොට Wrong Turn ෆිල්ම් එක මතක්වුන අවස්ථා නැතුවාම නොවෙයි.

Dead End - පාර ඉවරයි


ඔහොම යනකොට මෙන්න යකෝ එකපාරටම කාපට් පාරක් පටන්ගන්නවා, හොඳට ඉරි එහෙම ඇඳපු පාරක්.  අච්චර වෙලා හෙමිහෙමින් ඇවිල්ලා මේ ටික පාගලා යන්න හිතුනට පාගලා යන්න එපා Dead End කියලා බෝඩ් එකක් එහෙම ගහලා හම්ප් එකක් එහෙම දාලා තියනවා. කෝකටත් මොකෙක් හරි වේගෙන් ආවොත් මුහුදට වැටෙන එක නවත්තන්න. 




ඔව් මේ තමයි ඒ පාරෙ අවසානය. ඔය දකුණු පැත්තෙන් කොනේ පේන්නෙ තලෛයි මන්නාරම් ජැටිය. ඕකෙ කොනට යනකම් ඉස්සර කෝච්චි ගිහිල්ලා තියනවා නැව් වලින් එන බඩු භාණ්ඩ කෙලින්ම කෝච්චියට පටවගන්න. හැබැයි දැන් නම් ඒක පාවිච්චි වෙන්නෙ නෑ හොඳටම දිරලා. ගේට්ටුවක් දාලා වහලා තියෙන්නෙ බල්ලෙක්ටවත් යන්න දෙන්නෙ නෑ. ආහ් ඒ වගේම තමයි මෙතනින් වම් පැත්තන් පොටෝ ගහන්ඩ තහනම්. පෙනේරයක් වෙලා තමයි නවතින්ඩ වෙන්නෙ. වම් පැත්තෙ තියෙන්නෙ නේවි කෑම්ප් එකක්.




මේ ජැටියෙ දකුණු පැත්තෙ තියනවා අලුත් රේල්පාර ඒක බීච් එක වෙනකම් ඇවිල්ලා නැවත්තලා තියෙන්නෙ. ඊට මීටර් 100ක් විතර ආපස්සට වෙන්න තලෛයි මන්නාරම් ස්ටේශන් එකත් තියනවා හැබැයි මනුස්ස පුලුටක් වත් පේන්න නෑ හරියට පාලුවට ගිහින් අතඇරලා දාලා වගේ. එතනින් දකුණු පැත්තෙන් තියෙන්නෙ තලෛමන්නාරම් ලයිට් හවුස් එක. ඒකත් දොරවල් වහලා ලොක් කරලා තියෙන්නෙ උඩට නගින්න විදිහක් නෑ.






නිසොල්මන් අත්භූත මුහුද සහ ආදම්ගේ පාලම


ලංකාවෙ එක ගැට්ටකට ගිය අපේ ඊළඟ ගමන ආදම්ගේ පාලම බලන්න යන එක. ඉතින් අපි ආපු පාරෙම ආපහු ටික දුරක් ඇවිල්ලා දකුණට හැරන්න ඕන. මැප් එකේ පිහිටෙන් තමයි යන්න ඕන. ඉතින් ඒක වැලි පාරක් එකෙ ටික දුරක් එනකොට අපි නොහිතපු විදිහට පාර වහලා ගේට්ටුවක් දාල හොටෙල් එකකින්. එතන හිටපු සික්කා අපිව ආපහු හැරෙව්වා. යන එනමක් හිතාගන්න බැරුව ආපු අපි මඟින් තව පොඩි පාරක් හොයාගත්තා. හැබැයි ඒකෙ කාර් වගේ වාහන යන්න බෑ. ඉතින් වාහනේ මඟදාලා අපි පයින් යන්න පටන්ගත්තා.

අඩි කාලක් විතර සීතල වතුර ලේයරයක් තියන සිනිදු ලපටි තණකොල වලින් වැසුනු මේ අමුතු බිම අපිට හම්බුනේ වියලි කර්කශ තලෛමන්නාරමෙ කාර් එකෙන් බැහැලා පයින් යනකොට. මනුස්ස පුලුටක්වත් නැති මේ අත්භූත බිමට අපි Chill Land කියලා නම දැම්මා.




ඔය පේන ගස් පේලියෙන් එහාපැත්තට ගියාම තමයි අපිට හම්බෙන්නෙ මුහුද. මුහුදක් කිව්වට ඒක මහ අත්භූත මූසල පාටක් ගත්ත මුහුදක්. රැල්ල පොඩ්ඩක්වත් ගහන්නෙ නෑ. නිසොල්මන් වතුර සහ හුලං සද්දෙ විතරයි. කොච්චර අත්භූතද කියනවා නම් අපිට ඒ වතුර උණුද සීතලද කියලාවත් අල්ලලා බලන්න හිතුනෙ නෑ. ඔන්න එතනට වම් පැත්තෙ ඈතින් ආදම්ගේ පාලම පෙනුනට අපිට යන්න වේලාව ඉතුරුවෙලා තිබ්බෙ නෑ. කලුවර වැටීගෙන එනගමන් තිබුනෙ.



පේනවා නේද ලංකාවෙම තවත් පැත්තක මුහුදෙ ස්වරූපය.

නානවා නම් කීරි බීච් විතරයි


හැමදාම ශවර් වල විතරක් නාන අපි වතුරක බැහැලා නාන්න බලාගෙන නේ එන්නෙ. ඉතින් මන්නාරම් ඇවිල්ලා නානවා නම් තියෙන්නෙ කීරි බීච් විතරයි. ගිලෙයි ගහගෙන යයි කියලා බයවෙන්න දෙයක් නෑ දෙයියනේ කියලා මහා එපා කරපු රැල්ලවත් ගහන්නෙ නැති කම්මැලි බීච් එකක්. 



ඉතින් හවස නානකොට ඔයාලට දැකගන්න පුලුවන් මුහුදු යන්න ලෑස්තිවෙන ධීවරයො. හෙලෙයි හෝඩි හෙලෙයි හෝඩි කිය කිය බෝට්ටු මුහුදට තල්ලු කරනවා හරි අපූරුයි. මුහුදෙන් නාලා මතක ඇතුව හොඳ වතුර නානකොට එතන තියන කඩේ ඇන්ටිට රුපියල් 50 ගානෙ දීලා නාන්න. නැත්තම් ඉතින් ඒ ඇන්ටි දෙමලෙන් බනින ඒවා අපිට තේරෙන්නෙ නෑ අපි කියන ඒවා එයාට තේරෙන්නෙ නෑ.

ඉතින් අපේ දවස ඉවරයි කලුවරත් වැටුනා. අකුලගෙන යන්න අපි ලෑස්තිවුනා. හොඳට මතක තියාගන්න පාර කෙලින් පැහැදිලි වුනාට පාගලා යන්න නම් එපා පාර මැද බූරුවො හිටගෙන නිදි. ඉතින් පරිස්සමින් අපිත් කොළඹ ආවා.


ගමනට ඕන කෑම බීම සල්ලි හැමතිස්සෙම ළඟ තියාගන්න මොකද කෑම කඩ පෙට්‍රල් ෂෙඩ් ATM හරි අමාරුයි හොයාගන්න.

ඒ වගේම ගෙනියන කිසිදෙයක් එහෙදාලා පරිසරේ විනාස කරලා එන්න එපා. පරිස්සම් කරගමු අපේ රට. තව බලන්න තැන් ගොඩාක් තිබ්බට සතිඅන්තෙක ගිහින් බලන්න පුලුවන් ඔච්චර තමයි. ඕන නම් කලබලේට ඔක්කොම කවර් කරන්න පුලුවන් හැබැ‍යි ඉතින් කිසිගතියක් නෑ. ආතල් එකේ රවුම ගහනවා නම් ඔය ටික තමයි.


ඔය ඉන්නෙ ගමන ගිහිපු අපේ සෙට් එක. දකුණේ ඉඳලා කිව්වොත් රජියා, ඉස්සා, ටෙනියා, මේ ලියන මම කව්වා සහ තරුවා. තවත් Road Trip එකක් ගැන විස්තර අරන් අපි ළඟදීම එන්නම්. බායි ඈ.

Saturday, December 29, 2018

සති අන්තයේ ලංකාවෙ අමුතුම තැනක රවුමක් ගහන්න මන්නාරමට - Day 1

වෙලාව අලුයම 5.30යි කොල්ලො 5 දෙනෙක් රැගත් සුසුකි ඇල්ටෝ රථය… ඔව් ඔව් කොල්ලො 5යි උන්ගෙ බඩුමලු කැමරා ආම්පන්න කෑමබීම කට කපලා පැක් කරගෙන නුගේගොඩින් පිටත්වෙලා කෙලින්ම පෑලියගොඩ හරහා මීගමුව හයිවේ දාපු අපි ප්ලෑන් කරේ මීගමුව හලාවත පහුකරලා පුත්තලමට ඇවිත් උදේට බඩපැලෙන්ඩ කන්න.


මේ තමයි අපේ ගමන් මඟ

කොහොම හරි උදේ 8.30 වෙනකොට වඩේ බැද බැද වල්පල් කිය කිය කූල් එකේ සින්දු ටිකකුත් අහගෙන පුත්තලමට ආපු අපිට හිතාගෙන හිටපු විදිහට කන්න කිසිම කඩයක් හම්බුනේ නෑ. ඒ නිසා ඔන්න යන එවුන් පුත්තලමට කලින් කාපල්ලා. ඉතින් අරන් ආපු බිස්කට් 2-3ක් බඩට දාගන්න ගමන් පුත්තලම පහුකරලා අපි කෙලින්ම ගියේ විල්පත්තු මායිමට. ඊළඟ අපිට තිබ්බෙ විල්පත්තුව හරහා යන්න.


පුදනකොටම කාපි යකා කිව්වලු. අපි යනකොට නේවි එකේ අයියලා ගේට්ටුව වහලා. ඇයි? ඇතුල්වෙන තැන බන්ට් එකට උඩින් අඩි 2ක් වතුර දානවා පහුගිය වැස්සට. ජීප් එකක් තිබ්බා නම් පංකාදු ගමන.


අපේ ගමන් මඟ වෙනස් වුන හැටි

ඉතින් ඔන්න කැබ් එකක් ජිප් එකක් වගේ ඕෆ් රෝඩ් යන්න පුලුවන් වාහනයක් නැත්තම් ටිකක් හොයලා බලලා යන්න නැත්තම් ආපහු හැරිලා පුත්තලමට ඇවිල්ලා අනුරාධපුර පැත්තෙන් තන්තිරිමලේ හරහා තමයි යන්න වෙන්නෙ. කොහොම වුනත් ඒ පාරෙ යනකොටත් විල්පත්තු මායිමේ අලි ගැන සැලකිල්ලෙන් යන්න.


ඔන්න එහෙම ඇවිල්ල මන්නාරමට ඇතුල්වෙනකොට තමයි හොඳම සොමිය තියෙන්නෙ. මන්නාරම් දූපතට මුහුද මැදින් හදපු පාර වෙනම රටකට යනවා වගේ ආතල් එකක්.




























ඉතින් දෙපැත්තෙන්ම මුහුද තියන මේ අපූරු පාරෙන් මන්නාරමට ඇතුල් වෙනකොටම දෙයියනේ කියලා පොලිස් මාමිලා සෙට් එකක් ඉන්නවා ඔයාලව පිලිගන්න ටී56 කරේ තියන්. ඉතින් එතනින් එහාට ඔයාල ඉන්දියාවට ගියා වගේ තමයි. දෙමල ඉංග්‍රීසි බෝඩ් විතරයි කඩවල් වල තියෙන්නෙ. ගරාවැටිච්ච ගොඩනැගිලි හැමතැනම. පාරක් එහෙම අහනවා නම් හමුදාවේ හෝ පොලිසියෙ මහත්තයෙක්ගෙන් අහන්න. මොකද එහේ ගොඩක් අයට සිංහල වත් ඉංග්‍රීසි වත් බෑ. ඉතින් ගිහිපු ගමන් බලන්න තැන් දෙකක් තියනවා. එකක් තමයි ලංකාවෙ තඩිම ගස. අනිත් එක තමයි මුතු හොයාගෙන ලංකාවට ආපු ලන්දේසීන්ගෙ බලකොටුව.



Biobab Tree

මීටර් 19.51ක වට ප්‍රමාණයකින් යුතු මේ ගහේ නම තමයි බයෝබැබ්. මන්නාරම් දූපතට ඇතුල් වුන ගමන්ම දකුණට හැරිලා කිලෝමීටර් 1ක් විතර ගියාම මේ ගහ හොයාගන්න පුලුවන්.
ඒ පාරෙම ආපහු එනකොට මන්නාරම ටවුම කිට්ටුවෙන්ම හොයාගන්න පුලුවන් ලන්දේසි බලකොටුව. මේක සංරක්ෂණය කරලා නම් නෑ. ගරාවැටිලා තියෙන්නෙ. හවසට එහේ කොල්ලො කුරුට්ටො සෙට් වෙන තැනක් මෙතන. මේකෙ උඩට නැග්ගම හවසට ඉර බැහැගෙන යන විව් එක සුපිරි. 


Dutch Fort Mannar



ඉතින් පලවෙනි දවසට ගමන ඔච්චරයි. කලුවර වැටෙනකොට කොළඹ වගේ නෙවෙයි ටවුන් එකම ඩෙඩ්. ඉතින් ඔන්න රෑට නවතින්න මරු තැනක් තියනවා හැබැ‍යි මන්නාරම දූපතෙන් එළියෙ තියෙන්නෙ.
කමත තමයි මේකෙ නම ශ්‍රී ලංකා යුධ හමුදා 542 බලඇණියෙන් තමයි මේක කරගෙන යන්නෙ. යනවා නම් කලින් බුක් කරලා යන්නෙ. මොකද එහේ ගිහින් තැන් හොයන්න ලේසි වෙන්නෑ. ඒසී කරපු කාමර තියෙන්නෙ සර්විස් එකත් සුපිරියටම දෙනවා කෑමත් හම්මෝ කියලා වැඩක් නෑ ඉතාමත් මිත්‍රශීලි හමුදාවෙ සහෝදරයො තමයි මේකෙ ඉන්නෙ. ඔන්න නම්බර් ටික 0765794570 / 0766352496 / 0718929092 

Kamatha Guest House

මෙතනට යන පාර මැප් එකේ හරියටම නෑ ඉතින් කෝල් කරලා පාර හරියට අහගෙන යන්නෙ. බය වෙන්න දෙයක් නෑ ළඟපාත බාර් එකකුත් බයිට් කරත්තෙකුත් හීනියට තියනවා.
හරි අදට එච්චරයි ඊළඟ දවසෙ තලෛයි මන්නාරම් ගිහින් මොකද වුනේ කියලා ඊළඟ ලිපියෙන් හම්බෙමු.